අප ගැන

අප ගැන

උඩුනුවර මාණික්කාව ශ්‍රී නිග්‍රෝධාරාම මහා විහාරය

Udunuwara Manikkawa international buddhist center

උඩුනුවර මාණික්කාව ශ්‍රී නිග්‍රෝධාරාමය 1973 දී පූජ්‍යතර කොළබිස්සේ බුද්ධඝෝස දිසාපාලක නාහිමියන් විසින් ආරම්භ කර ඇත. ජාති, ආගම්, කුලභේද වලින් තොරව පොදුජන සමාජයේ ආධ්‍යාත්මික හා භෞතික සංවර්ධනය උදෙසා මෙම විහාරස්ථානයෙන් ග්‍රාමීය ප්‍රදේශ වල ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් සිදු වී ඇත. පසුගිය අවුරුදු 50 ක කාලය තුල අප විහාරස්ථානයෙන් ආගමික, සංස්කෘතික, සමාජීය සේවාවන් රැසක් ඉටු වී ඇත. වර්තමාන විහාරාධිපති ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලෙස ශාස්ත්‍රපති, අධ්‍යාපනවේදී පූජ්‍ය කොළබිස්සේ භාගින්දවන්ස ස්වාමීන් වහන්සේගෙන් විශාල ශාසනික මෙහෙවරක් ඉටු වන අතර ආසියාවේ විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙම විහරස්ථානය තුල ඉදිවෙමින් පවතී.

ගමන් මාර්ග තුනකින් ඉතා පහසුවෙන් අප විහාරස්ථානය වෙත ලගා විය හැකි අතර කොළඹ සිට මහනුවර මාර්ගයේ පැමිණ කඩුගන්නාව ඩෝසන් කුලුන අසලින් දකුණු පැත්තේ ඇති මාර්ගයේ 5km පැමිණි පසු විහාරස්ථානයට ලගාවිය හැක. එමෙන්ම පිළිමතලාව පරණපට්ටිය මාර්ගයේ 6km පමණ පැමිණි පසු මාණික්කාව බස් නැවතුම්පළ අසලින් ද, ගම්පොලින් ගම්පල - කඩුගන්නාව මාර්ගයේ 5km පමණ පැමිණී පසු අප විහාරස්ථානයට ලඟාවිය හැක.


 

විහාරාධිපති, ශාස්ත්‍රපති, අධ්‍යාපනවේදී පූජ්‍ය කොළබිස්සේ භාගින්දවංස මහා ස්ථවර

සුපින්වතුනි,

ශ්‍රී ලංකා ධරණිතලය සුපෝෂණය වී ඇත්තේ ලොව්තුරු දහමේ සිසිල තුලිනි. බුදුදහම තුලින් සුපසන් ගුණයෙන් පොහෝනා මිනිස්කමට වටිනාකමක් නිතැතින්ම එකතු කරයි. ඈත අතීතයේ පටන් රාජ රාජ මහාමාත්‍යවරුන් සහ ජනී ජනයන්, දහමේ උත්තම ගුණාංග මතු කරමින් අපේ සංස්කෘතිය, සභ්‍යත්වය හා ශිෂ්ටාචාරය මැනවින් ආරක්‍ෂා කර ගැනීමට වෙර දරා ඇත. එපමණක් නොව දහම් පිපාසාවෙන් සදාචාරාත්මක අගයන් මතු කරගෙන ජීවත් වන්නට උත්සුක වී ඇති අයුරු ඉතිහාසය අපට මැනවින් කියාපායි. එවන් සුන්දර පරිසරයක ජීවත් වු බොදුනුවන් මොන තරම් දයාන්විතද ධර්මයේ උත්තුංග ප්‍රථිපල ඔවුන් ජීවිතයෙන් අත්දැක ඇත.
ඒ නයින් බලන කළ වර්තමානය වන විට අපි මොනතරම් කඩා වැටීමකට ලක්වී ඇත්ද? ඉන් ගොඩ යෑමට අපට මහත් පරිශ්‍රමයක් දැරිය යුතු ව ඇත. අනාගත පරපුර දහමෙන් සහ ආකල්ප වලින් වටිනාකමකින් හෙබි පිරිසක් කිරීමට අප වෑයම් කරමු.

අප අපගේ ගුණයන්, සංස්කෘතිකමය වටිනාකම් සහ ආකල්ප දියුණුව පිණිස කටයුතු කිරීම අත්‍යාවශ්‍යමය. දුප්පත් බොදුනුවන් ජීවත්වන පරිසරයක ගොඩ නගා ඇති මාණික්කාව ශ්‍රී නිග්‍රෝධාරාමය ආශ්‍රයෙන් විශාල ජාතික, ආගමික, සාමාජික හා ශාසනික ක්‍රියාකාරකම් රාශියක් දියත් කරන අතර ආසියාවේ ඉදිවෙන විශාලතම ( හිටි) සම්බුද්ධ රාජ මහා ප්‍රථිමාව ඇතුළු ඓතිහාසික පසුබිමක් ගොඩ නැගීමට ලැබිමද මහත් සොම්නසට හේතු වන්නකි. මාගේ බුදු පියාණන් වහන්සේගේ දර්ශනය නෙතට ප්‍රිය දසුනකි. ලෝවැස්සන් සැමට එය දැක වැඳපුදා ගැනීමට 2024 වෙසක් පොහෝ දිනෙන් අනතුරුව හැකියාව ලබා දීමට වෙර දරමි. ඒ සඳහා සැදැහැත් බොදුනුවනි ඔබටත් ආරාධනා කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් දරන වෑයම මතු බුදුන් දැක නිවන් දැකීමටද හේතුවක් වේවායි ප්‍රාර්ථනා කරමි.

වර්තමානය සුපසන් කරන ලෝක වාසී බොදුනුවනි, තරුණයා, තරුණිය, දූ දරුවනි ඔබගේ අනාගතය පැහැදිලි දසුනක් කර ගැනීමට ඔබ සැවොම පින්කම් හා එකතු වන්න. එමෙන්ම ධර්මය තුල ජීවත් වන්නට වෑයම් කරමු. එය ඔබ ලබන ලස්සන ජීවිතේ පරම ධනයයි. දෛනිකව හා වාර්ෂිකව අප විහාරස්ථානය හා කේන්ද්‍රගතව පවත්වන සර්වඥ ධාතු පූජාව හාඋත්තම ශ්‍රී සර්වඥ ධාතු මහා පෙරහැරට මෙන්ම අප ස්ථානය තුලින් සිදුකෙරෙන ආගමික ජාතික සාමාජික කටයුතු වලදීද එකතු වන්නැයි ආරාධනා කරමින් ඔබ සැමට සම්බුදු සරණි දිගාසිරි ලැබේවායි පතමි.


විහාරාධිපති,
ශාස්ත්‍රපති, අධ්‍යාපනවේදී
පූජ්‍ය කොළබිස්සේ භාගින්දවංස මහා ස්ථවර
ශ්‍රී නිග්‍රෝධාරාමය - මාණික්කාව
බඹරගහඇල, ගම්පොල හරහා, උඩුනුවර, ශ්‍රී ලංකා